නේල් පොලිෂ් එහෙමත් නැත්නම් කියුටෙක්ස් විදිහට හඳුන්වන ආලේපන අපි පාවිච්චි කරන්නේ නියපොතු ලස්සනට තියාගන්නනේ. ඒත් ඉස්සර ඉඳන්ම කවුරුත් පුරුදු වෙලා ඉන්නේ කියුටෙක්ස් එක අරගෙන නිකම්ම නියපොත්තේ ගාගන්න. ඒත් ඒක නියපොතුවලට හොඳ දෙයක් නෙවෙයි. කියුටෙක්ස් එකක් ගාන්න කලින් ඕන දේවල් වගේම කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙල ඔයාගේ නියපොතු ආරක්ෂා කරනවා වගේම කියුටෙක්ස් එකක් ගාලා ඔයා ඒකෙන් බලාපොරොත්තු වෙන දේ ඔයාට ඒ විදිහටම ලබා දෙනවා.
සමහරු කම්මැලිකමට කලින් ගාපු කියුටෙක්ස් එක උඩින්ම ආයෙත් කියුටෙක්ස් එක ගානවා. ඒක කරන්න හොඳ නැතිම වැඩක්. මොකද එක උඩ එක කියුටෙක්ස් ඇප්ලයි කරද්දි නියපොතු දිරන්න වුණත් පුළුවන්.
ඒ වගේම රිමූ කරන්නත් අමාරුයි. ඒ නිසා කියුටෙක්ස් එකක් ගාන්න කලින් ඒ වෙද්දිත් නියපොතුවල කියුටෙක්ස් ගාලා තියෙනවනම් ඒවා නේල් පොලිෂ් රිමූවර් එකක් ආධාරයෙන් රිමූ කරගන්න ඕනේ. මේ දේත් කරගන්න ඕන විදිහක් තියෙනවා. පුළුන් කෑල්ලක් අරගෙන තත්ත්පර දෙක තුනක් නියපොත්තට තද කරගෙන ඉඳලා පහළට පිහදාන්න ඕනේ.
මුලින්ම අත් දෙක පිරිසිදු කරගන්න
නේල් පොලිෂ් එක ගාන්න කලින් අත් දෙක හොඳට පිරිසිදු කරගන්න ඕනේ. හෑන්ඩ් වොෂ් එකක් හරි සබන් හරි මේකට පාවිච්චි කරන්න පුළුවන්. අත් දෙක හෝදගෙන හොඳින් තෙතමාත්තු කරගන්න ඕනෙ.
මොකද්ද මේ Base coat” Top coat…
මෙන්න මේ බේස් කෝට්, ටොප් කෝට් කියලා වර්ග දෙකක් තියෙන නිසා තමයි පුරුදු වෙලා තියෙන විදිහටම නිකන්ම කියුටෙක්ස් ඇප්ලයි කරන්න එපා කියලා කියන්නෙ. හරියට කියුටෙක්ස් එකක් ගානවනම් ඔයා ගාන්න කැමති පාටක කියුටෙක්ස් එකක් වගේම ටොප් කෝට් සහ බේස් කෝට් එකත් තියෙන්න ඕනෙ.
මුලින්ම නියපොතුවල ගාගන්න ඕනෙ බේස් කෝට් එක. බේස් කෝට් එකෙන් ඔයාගේ නියපොත්ත ආරක්ෂා කරගන්න පුළුවන්. බේස් කෝට් එක ගාලා වේලෙනකල් විනාඩි 10 ක් විතර තියන්න ඕනෙ. හොඳට වේලුණාට පස්සෙ Nail colour එක ඇප්ලයි කරන්න පුළුවන්.
මුලින්ම කියුටෙක්ස් එක ගාන්න ඕනෙ නියපොත්ත මැද
මුලින්ම නියපොත්ත මැද කියුටෙක්ස් එක ගාගෙන ඊටපස්සෙ නියපොත්ත දෙපැත්තෙ පාට ආලේප කරගන්න ඕනෙ. සාමාන්‍යයෙන් Nail colour එකක් හරියට පේන්න දෙපාරක්වත් ගාන්න ඕනෙ. කියුටෙක්ස් ගාලා ඉවරවෙලා වේලෙනකල් විනාඩි පහක් විතර ඉන්න ඕනෙ.
අන්තිමට Top coat එක…
කලර් එක හොඳට වේලුණාට පස්සෙ ටොප් කෝට් එක ගාගන්න ඕනෙ. ටොප් එකත් බේස් කෝට් එක වගේම අවර්ණ ආලේපනයක් වුණත් විවිධ පාට ඩස්ට් එකක් එක්ක තියෙන බේස් කෝට් වෙළෙඳපොළේ තියෙනවා. ටොප් කෝට් එකෙන් තමයි සියල්ල අවසානයේ නියපොතුවලට ලස්සන දිලිසෙන පෙනුමක් ලබාදෙන්නෙ. ටොප් කෝට් එකත් හොඳට වේලෙනකල් නියපොතුවල කිසිම දෙයක් ගෑවෙන්න දෙන්න එපා. ඔයත් හැමදාම එකම විදිහටනම් නේල් පොලිෂ් ඇල්පයි කළේ, අද ඉඳන් මේ විදිහට තමන්ගෙ නියපොතු රැකගන්න ගමන් නේල් පොලිෂ් කරලා බලන්න.
රූපලාවන්‍ය ශිල්පිණී
මාෂි නෙහන්සා
එරංදි කෞශල්‍යා ✍️