ඉන්දිකා උපමාලි කියන්නෙ අපේ රටේ බිහිවුණ දක්ෂ කලාකාරිණියක්. එක් කලෙක ඇය රංගන ශිල්පිණියක්. තවත් කලෙක ඇය ගායන ශිල්පිණියක්. මේ දෙකටම ඇය එක සේ දක්ෂයි. නමුත් කාලෙකට ඉහතදී ඇය තුළ සිටි ඒ රංගන ශිල්පිණියට සමුදුන්නා. මේ වෙද්දි ඇය පූර්ණකාලීනව නිරත වෙන්නේ සංගීත කටයුතුවල විතරයි. ඇය මේ දිනවල ඇගේ ඇකඩමියේ සිසු දරු දැරියන් එක්ක අලුත් වැඩකට සූදානම් වෙනවා. ඒ ‘අඳ ළිහිණි ඔපෙරෙටා’වට යි…
25 වැනිදට මොකක්ද සිද්ධවෙන්නේ?
25 වෙනිදා පළමු වතාවට අපේ ආර්ට් සවුන්ඩ් ඇකඩමියේ ‘ඔපෙරෙටා’ නමින් ප්‍රසංගයක් ඉදිරිපත් කරනවා. ඒකෙ පළවෙනි ඔපෙරෙටාව විදිහට ‘අඳ ළිහිණි ඔපෙරෙටාව’ අපි රඟ දක්වනවා. ඒ නමින් තමයි කොන්සර්ට් එක නම් කරල තියෙන්නෙත්. කොන්සර්ට් එක තියෙන්නේ බිෂොප් විද්‍යාලයේ ශ්රවණාාගරයේ සවස 06.30 ට.
‘අඳ ළිහිණි ඔපෙරෙටා’ වේ ඉන්නේ කවුද?
අපේ ඔපෙරෙටා දෙකක් තියෙනවා. එකක් ‘අඳ ළිහිණි’ අනෙක ‘කුවේණි’. මමත් අපේ ඇකඩමියේ දරු දැරියනුත් තමයි ඔපෙරෙටාවල ඉන්නේ.
මේ වගේ දෙයක් කරන්න හිතුවේ ඇයි?
මේ වගේ දෙයක් කරන්න හිතුණ ප්‍රධාන අරමුණ විදිහට කිව්වොත් අද තරුණ පරම්පරාව වගේම දරු දැරියන්ගේ කලා කුසලතාව, කලා රසඥතාව වැඩි දියුණුකිරීම තමයි මගේ අරමුණ වුණේ.
ඔබ විශ්වාස කරනවද අද වනවිට අපේ කලාව වාණිජකරණය වෙලා කියලා?
විශේෂයෙන්ම මාධ්‍ය තුළින් අපි හැමවිටම දකින්නේ බාල, අවර ගණයේ දේවල්. ඒවා උසස් තලයේ නිර්මාණ විදිහට හඳුන්වන්න මම කැමති නැහැ. පසුගිය කාලෙම සාහිත්‍ය කලා රසඥතාව, ඉතිහාසය, දර්ශනය ඉගෙනුමට ඉඩක් තිබුනේ නැති වීම නිසා මේ පරිහානිය සිද්ධවුණා කියන්න පුළුවන්. ඒව කිය කිය හැම වෙලොවේම රජයට හෝ වෙනත් ආයතනයකට ඇඟිල්ල දිගු කරනවාට වඩා මට කරන්න පුළුවන් දෙයක් පොඩියට හෝ කරන්න මම හිතුවා.
ඉන්දිකා උපමාලි කියන්නෙ කාලෙකට කලින් රංගන ශිල්පිණියක්. ඒ නිළියව කාලෙකින් දැක්කෙ නෑ.
ඔව්. මුලින්ම රංගන ශිල්පිණියක් විදිහට තමයි බොහෝ දෙනා අඳුරගත්තේ. ඒ ධවල කේතු ටෙලිනාට්‍යත් එක්ක. ඒ වගේම වේදිකා නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. ‘සැලමුතු පින්න’, ‘භේරුණ්ඩ පක්ෂියා’ වගේ සිනමාපට කීපයකටත් රංගනයෙන් දායක වුණා.
පසුව මම වෘත්තිය මට්ටමෙන් සහ අධ්‍යපනය සඳහා සංගීත විෂය තෝරගෙන කථිකාචාර්යවරියක් වීමත් එක්ක රංගනයෙන් ඉවත් වුණා. සංගීතයට දැඩි කැමැත්තක් දැක්වුවත් රංගනය කියන දේ මගේ ජීවිතය තුළ තවමත් තියෙනවා. මගේ ශානරය විදිහට මං තෝරගන්නෙ ඔපෙරා කලාව. ඔපෙරා තුළ කොහොමත් රංගනය ගැබ්වෙලා තියෙනවා.

මාස්ටර්ගේ ඇතැම් ඔපෙරා ගී ජනගත වුණේ ඔබේ හඬ නිසා බව බොහෝ දෙනකුගේ මතයක්. ඒ ගැන ඔබේ අදහස මොකද්ද?
මිනිස්සු එහෙම හිතනවා නම් මම බොහොම නිහතමානීව ඒක පිළිගන්නවා. නමුත් ඒක ගැන මගේ අදහස කිව්වොත් ඒක ලොකු උත්තරයක්. මගේ ගායනාවන් සහ කේමදාස පදනම එක්ක මට තියෙන්නෙ අවුරුදු විස්සක සම්බන්ධතාවක්. මම අට ශ්‍රේණියෙදි තමයි ආචාර්ය කේමදාසයන්ගෙ‘මානස විල’ට සම්බන්ධ වුණේ. එතැන් පටන් ශිෂ්‍යාවක් විදිහට විතරක් නෙවේ උපදේශිකාවක් විදිහටත් මම පදනමේ හිටියා. මම ඔහුගේ
ඉගැන්වීම් රටාව අධ්‍යයනය කළා. ඒ අවකාශය ඇතුළෙන් මං එළියට ආවෙ ‘ධවල කේතු’ නාට්‍යය සහ සඳ පහන් රැයේ ගීතය හරහා. මාස්ටර්ගෙන් පස්සෙ ඔපෙරා ගායන කලාව දැන් තියෙන තත්ත්වයට ව්‍යාප්ත වෙන්න මම සිම්බල් එකක් විදිහට බලපෑවා වෙන්න පුළුවන්.
ඒකට හේතුව කේමදාස පදනමෙන් හැදුණ ඒ පැලේ පසුව අකඩමියාව ඇතුළට එන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන්. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බටහිර සංගීත අධ්‍යනාංශයෙන් මධ්‍යම පාන්තික දරුවන්ටත් ඔපෙරා ශෛලිය හැදෑරීම සඳහා ඇකඩමියාව ඇතුළේ ඉඩක් ලබාදෙනවා. දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ පවා ඉගැන්වීම් කටයුතු කෙරෙනවා.
උත්තර භාරතීය රාගධාරී සංගීතය තමයි මගේ ප්‍රධාන ධාරාව වුණේ. උත්තර භාරතීය රාගධාරී සංගීතයත් බටහිර සංගීතයත් දෙකම එක හා සමානව කරගෙන ගිය නිසා ගොඩක් මධ්‍යම පාන්තික ළමයින්ට එක ශෛලියක් හදාරලා තව ශෛලියකට යන්න තිබුණ බය තුරන් වුණා. ඒ වගේම පාසල් විෂය ධාරාවට කේමදාස මාස්ටර්ගේ ඔපෙරා සහ කැන්ටාටා ශානරයන් ඇතුළත් කරන්නට මගේ අක්කා සරෝජා සකුන්තලා මැදිහත් වුණා. ඇය විශාකා විද්‍යාලයේ හිටපු සංගීත ආචාර්යවරියක්.
මාස්ටර් මොනවගේ ගුරුවරයෙක්ද?
ආචාර්ය කේමදාසයන් කියන්නෙ සංගීතය පිළිබඳ දර්ශනවේදියෙක්. ඔහුට තිබුණු ඒ ඥානය, දැනුම කොයි ආකාරද කියලා දැන් අධ්‍යයනය කරනකොට තමයි හොඳින්ම තේරෙන්නේ. අපේ ඇඟිලි තුඩු පවා කටහඬට බලපාන විදිහ වගේ විද්‍යාත්මක ක්‍රමවේද ඔහු දැනසිටි අයුරු පුදුම සහගතයි. කේමදාසයන් අසීමාන්තික චරිතයක්. දැනුම් සම්භාරය පමණක් නෙවේ ජීවිතය ගැන පවා ඔහුට තිබුණු කියවීම අපූරුයි.
‘සඳ පහන් රැයේ’ කියන්නෙ ඔබේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ ගැන ටිකක් කතා කරමු…
මාව මුලින්ම ගායිකාවක් විදිහට මිනිස්සු අඳුරගත්තෙ මේ ගීතයෙන්. ඒක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. සමන්ත පෙරේරා අයියා සහ උපුල් සාන්ත සන්නස්ගල සර් නිසා තමයි ඒ අවස්ථාව ලැබුණේ. ඒ දවස්වල මට පාසල්වත් හරියට යන්න ලැබුණේ නෑ ‘මානස විල’ ඔපෙරාවේ සහ වෙනත් කලා කටයුතුවල නිරත වෙලා හිටපු නිසා. A/L කාලෙ මම සිංහල විෂයට ගියේ උපුල් සර්ගෙ රිවිෂන් ක්ලාස්. ඒ දවස්වල උපුල් සර් මාව ඉස්සරහට ගෙන්නලා සින්දු කියවනවා. ඔහු අවබෝධ කරගත්තා මගේ ගායන හැකියාව. ඒ විදිහටයි මට ‘සඳ පහන් රැයේ’ ගීතයට ආරාධනා ලැබෙන්නේ. ඒක තමයි මගේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ.

පුතාගෙ, සැමියගෙ විස්තර ටිකක් කියමු
පුතා නටාල් ජූනියර් තන්තිරිගේ. වයස අවුරුදු දහයයි. රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නේ. සැමියා රොහාන් චින්තක. ඔහු CR&FC හි රග්බි පිළිබඳ ප්‍රධාන කළමනාකරු. අප දැනහඳුනගත් කාලයේ සිටම ඔහුගෙන් මට මගේ කලා කටයුතුවලට ලොකු සහයක් ලැබෙනවා. පුතාත් ඒ වගේ. ඔහු සියල්ලම මධ්‍යස්ථාව දකින, හරිම හොඳ දඟකාර දරුවෙක්.
නටාල් සංගීතයට දක්ෂයිද?
ඔව්. ක්‍රීඩාව පැත්තෙන් ගත්තත් සංගීතය පැත්තෙන් ගත්තත් තවම සොයමින් සිටින කෙනෙක්. වාද්‍ය ඛණ්ඩයක් ඇසුණොත් එය මොකක්ද කියලා හඳුනාගැනීමට හැකියාවක් තිබෙනවා. දැනට ඩ්‍රම්ස් වාදනය හදාරනවා.
නටාල් සංගීතයට යොමු වීම සහ ඔබ ප්‍රගුණ කරන මාධ්‍ය සම්බන්ධයෙන් ඔහුගේ දායකත්වය කොහොමද?
ඔහු මගේ පුතා වීම තුළ හෝ මගේ කලා පරිසරය තුළ හැදෙන වැඩෙන නිසා හෝ කලා රසඥතාව දියුණු වෙනවා කියල මම හිතන්නේ නැහැ. ඔහු වෙනත් චරිතයක්. ඔහු මගේ පුතා වුණත් නිවරැදි රසඥතාවට ගන්න අසීරුයි. ඒ නිසා අපි රසඥතාවයට යොමු කරන්න ඕන. මම කොතරම් කාර්යබහුල වුණත් වේදිකා නාට්‍ය, චිත්‍ර ප්‍රදර්ශන බලන්න ඔහුව එක්කගෙන යනවා. ස්වභාවධර්මයට බොහොම සමීපව සම්බන්ධ කරනවා. ඔහුට වැඩිහිටියෙක් විදිහට තේරෙන කාලයක් වෙන තුරු මම ඔහු පිටුපසින් ඉන්නවා.
පුතාට යන්න ඕන ක්ෂෙත්රයට උදව් කරනවාද?
එයා කැමැති කෑම හදන්න. අනාගතයේදී චෙෆ් කෙනෙක් වීම පුතාගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් මම පුතාව ධෛර්යමත් කරනවා. කෑම කියන්නේ සංස්කෘතියක ප්‍රධානම දෙයක්. සංගීතය සමග ආහාර එකට ගැළපෙනවා. ඒකත් වෙනම කලාවක්. පුතා කියන්නේ මම ඉස්සරවෙලා ආහාර සකස් කරන කලාව ඉගෙනගන් නම්, දෙවනුව සංගීතය කියලා.
අම්මත් එක්ක ළඟින්ම වාඩිවෙලා පුංචි කොලු පැටියෙක් හිටියා. අම්මත් එක්ක අපි කතාකරන අතරවාරේ සැරින් සැරේ බල බල පොඩි හිනාවකුත් දැම්මා. ඒ තමයි ඉන්දිකාගේ එකම වස්තුව නටාල්. මේක ඇත්තටම නටාල්ගේ පළමු වෙනි ඉන්ටර්වීව් එක…
නටාල් මොනවටද වැඩියෙන්ම ආස?
මම ඇත්තටම කෑම හදන්න ආසයි. මම පොඩි කාලේ අපේ ගෙදර හිටපු කුමාරි ඇන්ටි මට ආදරේට කැරට් දෙනවා අමුවෙන් කන්න. මුලින් මම ඒවා කෑවා. ඊට පස්සේ මම ඒවා එක එක විදිහට කපන්න පුරුදු වුණා. එහෙම තමයි කෑම ගැන ආසාවක් ඇතිවුණේ.
අම්මාගෙන් තාත්තාගෙන් ඔයාගෙ කෑම හදන වැඩවලට ලැබෙන සහයෝගය කොහොමද?
එයාල කියන්නේ පුතේ ඔයා ඔයාට ඕන දෙයක් කරන්න කියලා.
අම්මා කලාවට සම්බන්ධයි කියල ඉස්කෝලේ යාළුවෝ දන්නවාද?
ඔව් දන්නවා.
අම්මා කලාකාරිනියක් නිසා ඔයාට යාළුවන් අතර විශේෂ තැනක් ලැබෙනවාද?
එහෙම නැහැ. යාළුවො අතර මම සාමාන්‍ය නාටාල්.
නටාල් ලොකු වුණාම කවුද වෙන්නේ?
චෙෆ් කෙනෙක් තමයි. හැබැයි මියුසික් දන්න චෙෆ් කෙනෙක්.
හරින්දී ලියනගේ ✍️
එරංදි කෞශල්‍යා ✍️