සොබාදහමට එකඟ වෙමින් මෙලොව උපදින සෑම කෙනෙකුම ගෙනා ආයුෂ වළඳා වෙලාව ආ කල නික්ම යා යුතුමය. ඔවුන්ගේ තරාතිරම මොකක් වූවත් සොබා දහමේ නීතියට ඔවුන්ට අවනත නොවී බැරිය.ඉන් යම් කෙනෙකු කුසලතාව නිසා, මුදල් හදල් නිසා හෝ මෙකි නොකි ඕනෑම යම් දෙයක් නිසා ජනප්‍රියත්වයක් ලබා සුවහසක් ජනතාවගේ හදවතේ ජීවත් වුවත් ඔවුන් ද මේ නික්ම යෑම බාරගත යුතුමය.
එහෙව් කලෙක සඳ තනිකර, හිරු තනිකර මාලිනීය ජීවන රඟමඬලෙන් පසුගියදා බැස ගියේ සදාකාලික තරුවක් ලෙස මෙරට ජනතාවගේ සිත්සතන් තුළ වෙනමම ඉඩක් ඇයට වෙන් කරවාගෙනය. එය හැමෝටම නොලැබෙන අවස්ථාවකි. ඒ අතින් මාලිනීය මාරම වාසනාවන්තය. ඇයගේ මේ වියෝව දරා ගැනීමටත් විස්තර කිරීමටත් සිනමාවට කෙසේ වෙතත් මෙරට ප්‍රේක්ෂක ජනතාවට නොහැකිය.
මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නමැති තරුණියට තිබුණේ ඉතාම නිහතමානී ආරම්භයක් බව කියයි. ඇය දශක පහකට ආසන්න කාලයක් දේශීය සිනමාව වෙනුවෙන් කැපවෙමින්, හුස්ම හරින තෙක්ම දේශීය සිනමාවේ නිළි රැජින ලෙස පිළිගැනීම දක්වාම ඒ නිහතමානීකම රඳවා ගත් බවට අපටද සාක්ෂි ඇත. ඒ ඈ සතු අසමසම පෞරුෂයේ ලක්ෂණයකි.
දේශීය සිනමාව තුළ ඇය තරම් රංගනයෙන් පරිපූර්ණ නිළියක් නැවත ඉපදේ යැයි කියා සිනමා කර්මාන්තයේ නියැළෙන පිරිසට පමණක් නොව ප්‍රේක්ෂක අපට ද විශ්වාසයක් නැත. මාලිනීය පළමු චිත්‍රපටය වන ‘පුංචි බබා’ සිට අවසන් ‘භවතරණ’ දක්වා චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවකට දායක වී රෝගාතුරව හිටියදීත් ඈ තරුණ අධ්‍යක්ෂවරයකුගේ අධ්‍යක්ෂණයෙන් සංගීත වීඩියෝවක පවා පෙනී සිටීමෙන් පෙන්වන්නේ රංගනය ඇගේ ජීවිතයට දෙවැනි නොවන බවය.
ජීවන ගමනේ විවිධ අවස්ථාවල උඩුයටිකූරු වූ ජීවන සිදුවීම් මධ්‍යයේ ද බෝහෝ දෙනා දුටුවේ හැමදාමත් සිනහවෙමින් සිටිනා මාලිනීයයි. එයින් ඇය පිළිබිඹු කළේ රංගධාරිණියකටත් වඩා මාලිනී නමැති කාන්තාව ශක්තිමත් බවය. එවැනි කාන්තාවක් ලැබීම සිනමාවට පමණක් නොව රටකටද වාසනාවක් විය. ඒ නිසා ඇය ජීවන රඟමඬලෙන් බැස ගියත් ලක් අඹරේ පෑයූ සදාකාලික තරුවක්මය.