අපි බත් කන රටක් වෙමු. ඉන් එහාට ආසියාවේ බොහෝ රටවල් ද අප්රිකාවේද ප්‍රධාන ආහාරය වී ඇත්තේ බත්ය. අපේ රටේ නම් හාල් පතට වැටෙන සෑම ලෙඩ කුණක්ම තදටම දැනුණේ ලොකු මිනිහාට වඩා පොඩි මිනිහාටය.
මේ නිසා පොඩි මිනිහාගේ දිවි රකින බත්පතට වන අඩු වැඩි වීම් ආණ්ඩු පෙරලන්නටත් ආණ්ඩු පිහිටුවන්නටත් හේතු වූ බව බොහෝ දේශපාලනඥයෝ නොදන්නවාද නොවේ.
ඡන්ද කාලෙට පමණක් හෝ ජනතාව පිළිබඳව හිත උණුවන මෙරට බෙහෝ දේශපාලනඥයින් හාල් කිලෝ ගණන්වලින් ජනතාවට බෙදීමේ සිරිතක් අනුගමනය කරන්නේ මේ නිසා වෙන්නටත් ඇත.
කිලෝ 5 මිටියට කිලෝ 10 මිටියට අහුවෙන දුප්පත් ජනතාව පසුගිය වසර 76 දීම කළේ දේශපාලඥයින්ගේ හාල් මංකොල්ලයට නතුවීමය.
තවමත් මේ රටේ හාල් ප්රශ්නය ප්‍රශ්නයක්ම වී ඇත. ආණ්ඩුව කියා තිබුණේ අත්‍යවශ්‍ය සහල් තොග සතොස හරහා මිලට ගැනීමට කටයුතු කර ඇති බවය.
එහෙත් සතොසේ මිලට ගන්නට හාල් නැත. එසේ නම් යල, මහ කන්නවල අස්වැන්න තිබෙන්නේ කා ළඟද?
වාර්තමාන ජනාධිපති සහෝදරයා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් වහාම කියා සිටියේ මෙරට සහල් මෝල් හිමියන් සතුව පවතින සහල් තොග සම්බන්ධයෙන් වාර්තාවක් සකසා දෙන ලෙසය.
එහි වගකීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවරිණි. මේ වනවිටත් සුළු හා මධ්‍ය පරිමාණයේ සහල් මෝල්වල ඇති සහල් සංචිත පිළිබඳ වාර්තාව ජනපති වෙත ලබාදී ඇත.
මන්ද විපක්ෂයේ සිටිනාවිට හාල් පිළිබඳ සෑම ප්‍රශ්නයකදීම පාර්ලිමේන්තුවේදී දැන් ආණ්ඩුව තරම් කෑ ගැසුව පිරිසක්, සාධාරණය වෙනුවෙන් ගේම ඉල්ලූ පිරිසක් මේ රටේ පාර්ලිමේන්තුවේ සිට නැත.
ඔන්න කරනවා නම් කර පෙන්නන්න හොඳම අවස්ථාව දැන් ඔවුන්ට ලැබී ඇත. ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් එක හඬින් කියා සිටින්නේ පාලන මිලට සහල් දෙන්නට බැරි බවය.
එසේ නම් ඒ සඳහා රජය මැදිහත් විය යුතුමය. ඒ මැදිහත් වීමට පාට පක්ෂ පසෙකලා කවුරුත් උදව් කළ යුතුමය. පිටරටින් හාල් ඇටයක්වත් නොගෙන්වා අපේ රටේ වී ගොවියා හාල් මෝල් හිමියන්ගෙන් රැකගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගේමට බැසිය යුතුමය.
එසේ කරන කළ විශ්වාසය දිනා නොගත් 58% විශ්වාසය ගොඩනැඟෙනු ඇත. වසා දැමුනු හාල් මිල පාලනයට දායක වූ ආයතන ස්ථාපනය කළ යුතුය.
ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන වෙළඳපොලේ තරඟකාරීත්ව ඇති කරමින් කුඩා සහ මධ්‍ය පරිමාණයේ සහල් මෝල් හිමියන් රැකගැනීම වෙනුවෙන් සමූපකාර ක්‍රමයක් ඇති කිරීමද කළ යුතුය. කෙසේ හෝ නියපොත්තෙන් කඩන්නට තිබුණ ප්රශ්නය පොරොවෙන් හෝ කපා විසඳිය යුතුමය.