ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද සටන උණුසුම්ය. එවන් පසුබිමක සැප්තැම්බර් 22 වැනිදා එළිවන්නට මේ රටට නව ජනාධිපතිවරයෙක් එසේ නොමැති නම් ආණ්ඩුවට ප්‍රධානියෙක් තවත් විදිහකට කියනවා නම් මෙරට ආරක්ෂක හමුදාවට සේනාධිනායකයෙක් පත්ව සිටිනු ඇති. 1978 දී නිර්මාණය වූ විධායක ජනාධිපති තනතුර සම්පූර්ණයෙන්ම දේශපාලනික තනතුරක් වන අතර එයට තේරී පත්වන ඕනෑම මෙරට පුද්ගලයකුගේ බිරිඳටත් රට පිළිබඳව මනා වගකීමක් නිරන්තරයෙන්ම පැවරෙනු ඇත.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තිස් අට දෙනෙකු තරඟ වදින අතර ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් වර්තමාන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මෙන්ම සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ යන අයට අමතරව ව්‍යවසායක දිලිත් ජයවීර මෙන්ම පැවැති කුරිරු යුද සමයේ හමුදාවට පණ දුන් සරත් ෆොන්සේකා වැනි ජනප්‍රිය චරිත ද තරඟ වදිනු ඇත. මේ කෙනෙකුගෙන් එක් අයකු ඊළඟ විධායක ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරාපත් ගැනීමෙන් පසුව ඔහුගේ භාර්යාව මේ රටේ පළමු කාන්තාව බවට නිතරඟයෙන්ම පත්වනු ඇත.
ජනපති ආර්යාව පිළිබඳව අප වැඩිපුර අසා ඇත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේදීය. නමුත් ඒ මතකයන් ඒ තරම් හොඳ එකක් නොවීය. ඉන්පසුව ආර්යාව පිළිබඳව කරලියට එන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බිරිඳ ශිරාන්ති රාජපක්ෂ නිසාය.
ඇය සමාජ සේවිකාවක් ලෙස වැඩක් කළ බව නම් මතකය. ආර්යාව යන්න තඹ දොයිතුවකටවත් ගණන් නොගත් චරිතය වන්නේ මෛත්‍රීපාල සිරිසේනයන්ගේ බිරිඳ සහ ඩී.බී විජේතුංගයන්ගේ බිරිඳය. වත්මන් ජනාධිපතිවරයාගේ බිරිඳ ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්යවරියක ලෙස තම රැකියාව කරන බව නම් මුළු මහත් සමාජයම දනී. ඇයටද ආර්යා උෂ්ණය නැත.
1959 දී බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව බණ්ඩාරනායකයන්ගේ බිරිද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෙරට ප්‍රථම අගමැතිවරිය ලෙස දිවුරුම් දුනි. ඒ කාලයේදී ඇය දේශපාලන දැනුමක් නොමැතිව පැමිණයත් මනා පරිචයකින් රට පාලනය කිරීමත් ලෝකයේ ප්‍රශ්න විසඳීමටත් දක්වපු නිපුනත්වය නිසා ජනාධිපති භාර්යාවකට රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් කළ හැකි කාර්යභාරය සුළු පටු නොවන බව උදාහරණ සහිතව පෙන්විය හැකිය.
මෙවන් පසුබිමක වෙන්නට සිටින අභිනව ආර්යාවනි, මොන තරම් කාර්යභාරයක් මේ රට වෙනුවෙන් ඔබට සිදුකළ හැකිද? සීයට පනස් තුනක් සිටින කාන්තාවන්ගේ අභිවෘද්ධය වෙනුවෙන්, දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යහපත් රටක් නිර්මාණය කිරීම සඳහා තම දායකත්වය සහ කැපවීම ස්වාමියාටත් රටටත් ලබාදීමක් මිස ඊට එහා ගිය බාල් නැටීමක් කිසිසේත්ම අපට අවශ්‍ය නොවනු ඇත.